සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

A Message for the New Year from the Health Minister 2017-12-31

සාමූහිකව අභියෝග ජයගෙන පුළුල් ආකල්පමය වෙනසක් කරා නව වසරේ එක්වෙමු.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නව අවුරුදු සුභ පැතුම් පණිවුඩය.


සෞභාග්‍ය, සහජීවනය, සංහිදියාව යන නැවුම් අපේක්ෂා අප තුල දල්වමින් 2018 වසර එළැඹ තිබේ. තිරසර යුගයක මඟ සළකුණු ඔස්සේ ශ්‍රී ලංකාවෙන් දිළිදුකම තුරන් කිරීමේ අධිෂ්ඨාන පුර්වක හැගීම පෙරදැරිව මිලියන විසිදෙකක ජනතාව නව වසර පිළිබද බලාපොරොත්තු දල්වාගෙන සිටිති.


රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ යහපාලන බිඳදැමීමට අදූරදර්ශි නොමනා බලවේග රැසක් ක්‍රියාත්මක වන වටපිටාවක ස්ථාවර ආර්ථිකයක්, සංහිදියාව, සහජීවනය මෙන්ම දිළිදුකම තුරන් කිරිමේ සාමුහික වගකීම අතැතිව අප හමුවේ ඇති අභියෝග ජයගනිමින් මානව හිතවාදී සමාජයක් ශක්තිමත්ව ගොඩනැගීමට පුළුල් ආකල්පමය වෙනසක් සමග කැපවෙමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ඇති කිරීමට 2018 නව වසරේ සාමූහිකව කැපවීමට අධිටන් කරගත යුතුය.


නව වසර එළැඹෙනුයේ වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත් වී වසර 03 ක් සම්පුර්ණවීමට නොබෝ කාලයක් ඇති විටකය. මෙම තෙවසරකට ආසන්න කාලය තුල රටක් ලෙස අප අගනා ජයග්‍රහණයන් රැසක් ලබාගෙන ඇත. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සදාචාර සම්පන්න දියුණු රටක් ලෙස ඉදිරියට යාමට නම් තවදුරටත් ඉටු කළ යුතු සුවිශාල කාර්යභාරයක් අප ඉදිරියේ ඇත. පුජාතන්ත්‍රවාදය වලපල්ලට දැමූ ඒකාධිපති බලය බිඳදැමීමට හැකිවීම අප ලද විශාල ජයග්‍රහණයකි. එසේම අප රට සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පැවැති මතභේදකාරි අදුරු වටපිටාව සමනය කර ගනිමින් සුහදශීලි ජාත්‍යන්තර සබඳතා යළි ගොඩනගා ගන්නට හැකිවිම අනාගත අභිවෘද්ධිය උදෙසා සුභදායි වනු ඇත. මානව පැවැත්මට එරෙහි අපරාධ, නාස්තිය, දුෂණය අවම කර ගන්නට හැකිවීම, ස්වාධීන කොමිසන් සභා පිහිටුවීමට හැකිවීම තොරතුරු පනත සම්මත කර ගැනීමට හැකිවීම, මාධ්‍ය නිදහස ඇති කිරිම, රටේ ආර්ථිකයට දරා ගත නොමැති මට්ටමේ ණය බරක් පවතිද්දී පවා ජනතාවගේ ජීවන අරගලයට සහන ලබාදීමට හැකිවීම, දේශපාලන ස්ථාවරභාවය තහවුරු කරමින් ආර්ථික සංවර්ධනයට අඩිතාලමක් සැකසිය හැකිවීම ආදී වශයෙන් අප ලද තවත් ජයග්‍රහණ රැසකි. එමෙන්ම මා හට නිරෝගිමත් ශ්‍රී ලංකාවක් යන සංකල්පය යටතේ සුව සේවයේ විශාල වෙනස්කම් රැසක් ඇති කරමින් ශ්‍රී ලාංකීය සුවහසක් ජනතාවගේ කැඩී බිදී තිබූ සිත් සනසාලමින් ඔවුන්ට නව බලාපොරොත්තුවක් දෙන්නට හැකිවිය. මේ තුන් වසරක ආගමනය තුල මහමෙරක් තරම් හිස ඔසවා තිබූ ඖෂධ මාෆියාව බිදහෙළමින් ප්‍රධාන ඖෂධ 400 කට වඩා වැඩි ප්‍රමාණයක මිල අඩු කිරීමෙන් ඓතිහාසික ජයග්‍රහණයක් අප මුලු මහත් ජනතාවට අත්කරදීමට හැකි විය. දිවයින පුරා රෝහල් සියලු පහසුකම් සහිතව සංවර්ධනය කරමින්, බෝවන මෙන්ම බෝනොවන රෝග පාලනය කරමින් ජාත්‍යන්තරයේ පවා අප රටට පැසසුම් එක් කරමින් සුව ක්ෂේත්‍ර යේ නව පුනරුදයක් ඇති කිරිමට හැකිවීම රටේ වාසනාවට සිදු වූ මහගු අවස්ථාවකි. එමෙන්ම අප සැවොම එක්ව ගුණාත්මකබවින් හෙබි නිදහස් සෞඛ්‍ය සේවය පුළුල් කරමින් සුව ක්ෂේත්‍රය මෙන්ම රට මේ වසර තුල සුවිශේෂි ස්ථානයකට ගෙනඒමට පෙළ ගැසෙමු.


නිසැකවම මෙම අභියෝග අප ජයගත යුතුය. අපට එය ජය ගැනීම අසීරු නැත. මානව සංහතියේ පරිණාමය සිදුවූයේම අභීයෝග හමුවේ නොසැලී ස්වකීය ධෛර්ය, පරම විශ්වාසය බවට පත් කර ගත් මිනිසුන් නිසාය. අපගේ අධිෂ්ඨානයන් පරිපුරණය කර ගත හැක්කේ අප පුර්ණ ලෙස පොදු යහපත වෙනුවෙන් වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව කාලය කළමණාකරණය කර ගනිමින් නිවැරදි දෙය නිවැරදිව ඉටු කිරීමේ වගකීමට අනුගතවීමෙනි.


එළඹෙන හෙට දවසේ අපට මුහුණදීමට සිදුවන සොබාදහමේ අහිතකර සංචලනයන් අප තේරුම් ගත යුතුය. පරිසරය කෙරෙහි අප ඉතා දැඩිව සංවේදි විය යුතු බව කාලගුණික සාධක අපට බල කර


කියා සිටියි. සොබාදහම බොහෝ තීන්දු තීරණ ගැනීමේ බලසම්පන්න තීරකයා බව අප කිසිසේත් අමතක කළ යුතු නොවේ. ලෝකය කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍ර යේ කොතරම් ජයග්‍රහණ අත්පත් කර ගත්ත ද සංවර්ධනයේ අපේක්ෂා සහගත බලාපොරොත්තු දල්වාගෙන සිටිය ද, පාරිසරික ආශිර්වාදයේ සුබපැතුම් එහිලා අනිවාර්ය කොන්දේසියක් වෙයි. අප නව වසරට පිවිසෙන්නේ ලෝකය ආර්ථික, දේශපාලන හා සමාජීය සංකිර්ණතා අවධිවෙමින් පවතින පසුබිමකය. දිළිදුකම තුරන් කිරීමේ සාමූහික වගකීම අතැතිව අප හමුවේ ඇති අභීයෝග ජයගනිමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා මේ යන ගමන සාර්ථක කර ගන්නට 2018 වසර සාමුහිකව ඉත සිතින් කැපවෙමු. ඒ සදහා පුළුල් ආකල්ප වෙනසක් සමග කැපවන්නට 2018 නව වසර කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව මෙන්ම මුළුමහත් ශ්‍රී ලාංකීය ජනතාවට සියලු යහපත් පැතුම්, අරමුණු සාක්ෂාත් වන ධෛර්යවන්ත, නිරෝගීමත් සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා.


දොස්තර රාජිත සේනාරත්න,
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,