සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

හෘද සහ අක්ෂි රෝග සැත්කම් සදහා රජයේ රෝහල්වල පවතින පොරොත්තු ලේඛණය අවම කිරීමට සුව ඇමැතිගෙන් නව වැඩපිළිවෙලක්. 2017-12-18

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැළසුම් අංශයේ සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් 07 කගේ ඡායාරූප විවෘත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (16) පස්වරුවේ දී සිදු කෙරිනි.


මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - දිවයින පුරා රෝහල්වල පවතින හෘද රෝග සහ අක්ෂි රෝග සැත්කම් පොරොත්තු ලේඛණය 2018 වසරේ දී අවම කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ සදහා රජයේ රෝහල්වල ශල්‍යාගාර මෙන්ම පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර ද භාවිත කරනවා. එහිදී පෞද්ගලික රෝහල් වල දී සිදු කරන ශල්‍ය කර්මයකට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් ලබාදෙනවා. ඒ පිළිබදව විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වූවා. පෞද්ගලික රෝහල් සංගමය ද සාකච්ඡාවට එක්ව සිටියා. මම ඒ සංගමයට යෝජනා ඉදිරිපත් කළා. මෙම ශල්‍යකර්ම පෞද්ගලික රෝහල්වල දී සිදු කිරිම සදහා විශේෂිත අයකිරීම් ඇතුලත් ලේඛණයක් සකස් කරනවා. එම ශල්‍යකර්ම සහනදායි මිලටයි සිදු කරන්නේ. එම ලේඛණය පරීක්ෂාකර සාධාරණ මිල ගණන් වලට පැමිණීමෙන් පසු ජනවාරි මාසයේ සිට මෙය ක්‍රියාත්මක කරනු ලබනවා. විශේෂිත අයකිරීම් ලේඛණය ඉදිරි සතිය තුල සකස් කර අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. මේ පිළිබදව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් සමග ද සාකච්ඡා කරනවා. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් රෝගීන්ට ද පහසුව සැළසෙනවා. රජයේ රෝහල් වල ද ශල්‍යාගාරවල පස්වරු 4.00 න් පසු ශල්‍යකර්ම සිදු කරනවා. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පොරොත්තු ලේඛණය අවම කර ගන්න පුලුවන්. නිදහස් සෞඛ්‍ය සේවාව නමට විතරක් ප්‍රකාශ කළාට මදි. ක්‍රියාවෙන් ද ඔප්පු කළ යුතුයි. එම නිසා මෙම වැඩපිළීවෙල සාර්ථක කර ගැනීමට සහ අනෙකුත් සෞඛ්‍ය වැඩසටහන් සාර්ථක කර ගැනීමට අමාත්‍යාංශයේ සැළසුම් අංශය ඉතාම වැදගත්. වගකීමක් ද තිබෙනවා. රටක සෞඛ්‍ය සහ අධ්‍යාපනය නගාසිටුවීම තුලින් සංවර්ධන ඉළක්ක කරා ළගා විය හැකි බව ලෝක බැංකුවේ ද අදහසයි. එම නිසා තමයි ලෝක බැංකුව බෝනොවන රෝග පාලනය කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදුන්නේ. මෙය වසර 05 ක ව්‍යාපෘතියක්. නව තාක්ෂණය, පරිගණක දැනුම, මාධ්‍ය භාවිතය තුලින් සැළසුම් අංශය නව සැළසුම් සකස් කළ යුතුයි. නැතිනම් සෞඛ්‍ය ප්‍රතිඵල ලගා කර ගන්න බැහැ. අවශ්‍ය දේශපාලන තීන්දු රජය ලබාගන්නම්. ඔබලා සැළසුම් සකස් කරන්න. වසර 10 ක අනාගතය දෙස බලා සැළසුම් සකස් කිරිම ඉතාම වැදගත්.


මෙහිදී හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට සම්මාන පිරිනැමීම ද සිදු කෙරුනේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතිනි. අමාත්‍යංශයේ සැළසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සතාසිවම් ශ්‍රීධරන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ද සම්මානයක් ලබාදෙන ලදි.


මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, අධ්‍යක්ෂවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.