සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

පෞද්ගලික සෞඛ්‍ය ආයතන සහ වෛද්‍යවරුන් ලියාපදිංචිය සදහා සුව ඇමැතිගෙන් මසක සහන කාලයක්. 2017-12-15


සියලුම පෞද්ගලික රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන, රසායනාගාර මධ්‍යස්ථාන, හෙද පුහුණු පාසල් සහ ගිලන් රථ සේවා මෙන්ම පුර්ණ කාලීන සහ අර්ධකාලීනව රාජකාරියේ නියුතු සියලුම වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය නියාමන කොමිසන් සභාවේ ලියාපදිංචි වීම සදහා මාසයක කාලයක් ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
2018 ජනවාරි මස 01 සිට 31 වන දා දක්වා කාලය තුල එම ලියාපදිංචි කිරීම සිදු කළ යුතුය. ලබාදුන් කාලය තුල ලියාපදිංචි නොවන පෞද්ගලික රෝහල් වෛද්‍ය මධ්‍යස්ථාන, රසායනාගාර මධ්‍යස්ථාන, හෙද පුහුණු පාසල් සහ ගිලන් රථ සේවා මෙන්ම පුර්ණ කාලීන සහ අර්ධකාලීනව රාජකාරියේ නියුතු සියලුම වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් නියාමන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතාට අද (14) නියෝග කළේය. ඒ පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙල සදහා කේ.පී.එම්.ජී ජාත්‍යන්තර සමාගම සකස් කළ වාර්තාව සමාලෝචනය කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යවරයා එක්වෙමිනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම සාකච්ඡාව පැවැත්විනි.
තව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශණ ඒකකය මගින් විමර්ශණයක් පැවැත්වීමට ද නියමිතය. මෙවැනි සහන කාලයක් යළි ලබානොදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. මෙම වැඩපිළිවෙල තුලින් ව්‍යාජ සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ වෛද්‍යවරුන් පිළිබදව කරුණු අනාවරණය කර ගැනීමෙන් පසු ඒ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම අවස්ථාවට වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් මහතා, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝනොවන රෝග) චම්පිකා වික්‍රමසිංහ මහත්මිය, පෞද්ගලික රෝහල් නියාමන ඒකකයේ අධ්‍යක්ෂ වසන්ත දිසානායක මහතා ඇතුලු නිලධාරීන් එක්ව සිටියහ.