සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් පැවැති ජනතාව දැනුවත් කිරීමේ පාගමන සාර්ථකව අවසන් වේ 2019-12-04


HIV / AIDS ආසාධිතයින් හදුනා ගැනීමේ වැඩසටහන අප රට තුල සාර්ථකව ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

සැම වසරකම ලෝක ඒ්ඩ්ස් දිනය දෙසැම්බර් මස 01 දින සමරනු ලැබේ. HIV/AIDS වලට එරෙහිව සටන් කිරීමේ අධිෂ්ඨානය, කැපවීම නැවත වර්ධනය කර ගැනිම සහ වෛරසය ආසධනය වීමෙන් මියගිය පුද්ගලයින් සිහි කිරිම ද මෙදින සිදු කෙරෙයි


සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ද උපදෙස් ඇතිව “එක්ව සිතමු. වෙනසක් කරමු. ඒඩ්ස් දුරළමු” යන්න තේමාකොට ගනිමින් මෙම වසරේ ද ලෝක ඒඩ්ස් දිනය සමරනු ලබයි.


ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත රෝග හා ඒ්ඩ්ස් මර්දන වැඩසටහන ජනතාව දැනුම්වත් කිරීම වෙනුවෙන් පවත්වන ලද පාගමන ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, බන්ධනාගාර රැදවියන් සහ ප්‍රජා නියෝජිතයින් ගේ සහභාගීත්වයෙන්  අද දින (30) බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වී කොළඹ නගර සභා පරිශ්‍රය දක්වා පැමිණි අතර, අනතුරුව කොළඹ නගර සභා පරිශ්‍රයේ දී සමාරම්භක උත්සවය පැවැත්විනි.


ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි 2018 වසරේ ලොව පුරා HIV වෛරසය ආසාධිත පුද්ගලයින් මිලියන 37.9 ක් වන අතර, HIV ආසාධිත වයස අවුරුදු 15 ට අඩු ළමයින් ගණන මිලියන 1.7 ක් වේ. 1987 වර්ෂයේ සිට මේ වසරේ ජුනි මාසය දක්වා කාලයේ දී අප රටේ එච්.අයි.වී රෝගීන් 3243 ක් සොයාගෙන ඇත.


සමාරම්භක උත්සව අවස්ථාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා - “අද දින ලෝක ඒඩ්ස් දිනය සැමරිම වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහන බැලුවාම මට සහ ඔබ සැමට සිහිපත් වෙන්නේ පසුගිය ජනාධිපතිවරණය සදහා පැවැත් වූ රැස්වීම් මාලාව. එවැනි රැස්විම් වලට තමයි ජනතාව විශාල වශයෙන් එක් වුණේ. සෞඛ්‍ය අංශයේ මේ වැඩසටහන සදහා ද අද විශාල ජනතාවක් එක්ව සිටිනවා. මේ අංශයේ ප්‍රජා නියෝජිතයින්ගේ උනන්දුව නිසා තමයි මෙපමණ පිරිසක් පැමිණ තිබෙන්නේ. මෙම පාගමන සදහා නිර්මාණය කළ ටීෂර්ට් එකෙන් පිළිඹිබු වෙන්නේ අපි එකා මෙන් එක අරමුණක් සදහා සැදී පැහැදී සිටින බව. අපේ අරමුණු 2025 දී ඒඩ්ස් රෝගය ලංකාවෙන් තුරන් කිරිම. ඒ සදහා මවගෙන් ළදරුවාට ඒඩ්ස් වෛරසය සම්ප්‍රේෂණයවිම වැළැක්වීම ආදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. ලෝක ප්‍රජාවට වගේම ශ්‍රී ලාංකීය ප්‍රජාවට මේ රෝගය පාලනය කිරිමට අද හැකියාව ලැබී තිබෙනවා. අද වන විට ආසාදිතයින් 3500 පමණ සිටින බවට වාර්තා වනවා. වසරකට නව ආසාදිතයින් 200 ක් පමණ වනවා. ආසාදිතයින් හදුනාගැනීමේ වැඩසටහන ද සාර්ථකව අප රට තුල ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාව වැනි රටවල විශාල ජනගහනයක් යටතේ මෙම රෝග පැවතියත් අප රටට හැකිව තිබෙනවා මෙම රෝගය පාලනය කිරීමට. මෙම රෝග තුරන් කළ පසු එම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම සදහා අපේ සෞඛ්‍ය වැඩපිළිවෙල අත්‍යාවශ්‍ය වෙනවා.”


එච්අයිවී ඒඩ්ස් ඇතුලු ලිංගාශ්‍රිත රෝග පිළිබද පැවැත් වූ චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් සදහා ත්‍යාග ප්‍රදානය කිරිම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අතින් සිදු විය.


රට තුල ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග සහ එච්.අයි.වී. නිවාරණය හා පාලනය කිරීමේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්නේ ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන වැඩසටහනයි. එය රෝග නිවාරණය සහ ප්‍රතිකාර කිරීම යන සේවාවන් දෙකම සපයන සෞඛ්‍ය අමාත්‍යාශය යටතේ පවතින මනාව සංවිධානය වූ වැඩසටහනකි. ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන වැඩසටහනේ පරමාර්ථ වනුයේ එච්.අයි.වී. ඇතුළු ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන අසාදන බෝවීම වැළැක්වීම සහ ආසාදිත හා බලපෑමට ලක්වූ යට ප්‍රතිකාර සත්කාර සහ උපකාරක සේවා සැපයීම වේ.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චිමහත්මිය, පිළිකා රෝග පිළිබද ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා ජානකී විදානපතිරණ මහත්මිය, ප්‍රජා නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.



විරාජ් අබේසිංහ

(මාධ්‍ය ලේකම්)

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය