සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිතවරිය සෞඛ්‍ය අමාත්‍යවරිය හමු වේ. 2019-11-29

 
 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ (Dr Razia Pendse) මහත්මිය පසුගියදා (28) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ දී මුණ ගැසිනි.

 

එම හමුවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරිය නව රජය යටතේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් ඉදිරියේ දි සිදු කිරීමට නියමිත සෞඛ්‍ය ව්‍යාපෘති, සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් පිළිබදව අමාත්‍යවරිය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

 

එමෙන්ම කාන්තා හා ළමා කටයුතු සේවාවේ උන්නතිය වෙනුවෙන් සිදු කෙරෙන කාර්යයන් හා වැඩසටහන් සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ද ලබාදෙන ලෙස අමාත්‍යවරිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරියගෙන් ඉල්ලා සිටියාය. ඒ සදහා දැනටමත් විශේෂ ව්‍යාපෘති රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවත් ඉදිරියටත් එම කටයුතු ක්‍රියාත්මක කරමින් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බව අමාත්‍යවරිය වෙත අවධාරණය කරන ලදි.

 

නව රජය යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යවරිය ලෙස  පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පත්වීම පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් තම සුබපැතුම් එක් කරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරිය වැඩිදුරටත් පැවැසීය.

 

විරාජ් අබේසිංහ

(මාධ්‍ය ලේකම්)

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය