සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

මළදරු උපත් සහ බිළිදු මරණ අඩු කිරීමෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ස්ථානයකට 2019-05-24

 

ගර්භනී කාලයේ සති 28 න් පසු කුස තුල මියයන දරුවන් සහ උපතින් දින 07 ක් තුල සිදුවන බිළිදු මරණ අඩුකිරිම අතින් ශ්‍රී ලංකාව විශිෂ්ට තත්ත්වයක් ලබා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවක සදහන් වෙයි.

 

ශ්‍රී ලංකා 2014/2017 පරාජන්ම මරණ විමර්ශණ වාර්තාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පිළිගැන් වූ අතර, එම වාර්තාවේ මෙම කරුණු සදහන් වෙයි.

 

මාතෘ හා ළදරු මරණ අනුපාතිකයන් ඉතා අවම මට්ටමකට අඩු කළ පසුබිමක ශ්‍රී ලංකාවේ පරාජන්ම මරණ වැළැක්වීම සෞඛ්‍ය සේවාවේ ඉහළම ස්ථානයකින් තබා කටයුතු කරනු ලබයි. ගර්භනීභාවයේ සති 28 සිට ප්‍රසූතියෙන් පසු පළමු දින 07 දක්වා කාලය පරාජන්ම සමග ලෙස සැළකෙයි. මෙම කාලය තුල සිදු වන මළදරු උපත් සහ පුර්ව බිළිදු මරණ පරාජන්ම මරණ ලෙස ගණනය කරනු ලබයි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින සෑම රෝහළක්ම පරාජන්ම මරණ වාර්තා කරන අතර, සෑම මසකම පරාජන්ම මරණ විමර්ශණ රැස්විම් පවත්වා එම මරණ වැළැක්වීම සදහා ගතයුතු පියවර සාකච්ඡා කරනු ලබයි. 2006 වසරේ දී ශ්‍රී ලංකාවේ ආරම්භ කළ මෙම ක්‍රමවේදය ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කරන එකම ආසියානු රට වන්නේ ද ශ්‍රී ලංකාවයි.

 

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා ව්‍යාධි සහ මරණ ආවේක්ෂණ ඒකකය යුනිසෙෆ් ආයතනය සමග එක්ව 2014 සිට 2017 දක්වා මුළු රට තුලින්ම වාර්තා වූ පරාජන්ම මරණ විශ්ලේෂණය කර මෙම වාර්තාව සකස් කර තිබෙයි. මෙම වාර්තාවට අනුව පසුගිය වසර කිහිපය තුල මෙරට පරාජන්ම මරණ අනුපාත ක්‍රමාණුකූලව අඩු වී ඇති අතර, 2017 වසරේ දී පරාජන්ම මරණ අනුපාතය දරුඋපත් 1000 කට 6.8 ක් වෙයි. ශ්‍රී ලංකාවේ පරාජන්ම මරණ අනුපාතය ලෝකයේ දියුණූ රටවල මට්ටමට ලගා වී ඇත. උදාහරණ ලෙස මහා බ්‍රිතාන්‍යයේ එම අනුපාතය 6.6 කි. 2017 වසරේ දී මළ දරු උපත් 838 ක් සහ පුර්ව බිළිදු මරණ 1079 ක් වාර්තා වී ඇත. තවදුරටත් පරාජන්ම ආවේක්ෂණ ක්‍රමවේදය වැඩිදියුණු කිරීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග සහ නිර්දේශ ද මෙම වාර්තාවට ඇතුළත් කර ඇත.

 

 පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතාගේ සහ යුනිසෙෆ් ආයතනයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ධම්මිකා රොයෙල් මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චාරුක්ෂි අරඹේපොල මහත්මිය විසින් මෙම විමර්ශණ වාර්තාව සකසා ඇත. එහි පිටපත සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පිළිගැන්වූ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට එය පිරිනමනු ලැබූයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක දීය.

 
වැඩි විස්තර >>>