සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

කොළඹ ජාතික රෝහලේ පැය 24 පුරාම ස්ටෙන්ස් දැමීම සහ සැත්කම් සිදු කිරීම ඉහළට. ස්ටෙන්ස් දැමීම තවත් විධි 2019-04-06


කොළඹ ජාතික රෝහලේ පැය 24 පුරාම ස්ටෙන්ස් දැමීම සහ සැත්කම් සිදු කිරීම ඉහළට. ස්ටෙන්ස් දැමීම තවත් විධිමත් කිරිමට සුව ඇමැතිගෙන් නව වැඩපිළිවෙලක්.


දිවයින පුරා පිහිටි හෘද කැතීටකරණ ඒකක සදහා අවශ්‍ය ඖෂධ සහ ස්ටෙන්ස් නව ක්‍රමවේදයක් යටතේ මිල දී ගැනීම සහ විධිමත්ව සැපයීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත.


එම කමිටුවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශණ, හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ, යන මහත්වරුන් එම කමිටුවට ඇතුලත් වෙයි. කමිටු වාර්තාව සති දෙකක් ඇතුලත ලබාදිය යුතු වෙයි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම කමිටුව පත් කරනු ලැබුයේ ශ්‍රී ලංකා හදවත් සංගමය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය.


මෙහිදී කොළඹ ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයේ පැය 24 පුරා ස්ටෙන්ස් හා සැත්කම් සිදු කිරීම අගය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉතා අධික මුදලකට ලබාගන්නා වෛද්‍ය උපකරණ මගින් නිසි ප්‍රයෝජනය ගත යුතු බව ද අවධාරණය කර සිටියේය. ජනවාරි මාසයේ දී ස්ටෙන්ස් සහ සැත්කම් දිවා කාලයේ දී 591 ක් ද රාත්‍රී කාලයේ දී 224 ක් ද සිදු කර ඇත. පෙබරවාරි මාසයේ දී දිවා කාලයේ ස්ටෙන්ස් සහ සැත්කම් 549 ක් ද රාත්‍රි කාලයේ දී 230 ක් කර ඇත. මාර්තු මාසයේ දී දිවා කාලයේ දී 545 ක් ද, රාත්‍රී කාලයේ දී 186 ක් ද ස්ටෙන්ස් හා සැත්කම් සිදු කර ඇත. ඉදිරියටත් හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් හා සැත්කම් පැය 24 පුරාම සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.


මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ අධ්‍යක්ෂවරුන්, ශ්‍රී ලංකා හදවත් සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ, යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරින් රැසක් එක්ව සිටියහ.