සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

පාසල් දරුවන්ගේ දත් දිරායාම අඩු වෙයි. නිරෝගී විදුරුමස් සහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළට. නවතම මුඛ සෞඛ්‍ය සමීක්ෂණයෙන් හෙළි වෙයි 2019-04-01


සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ පාසල් දන්ත සායන සහ දන්ත අධ්‍යාපන වැඩමුළු හේතුවෙන් පාසල් දරුවන්ගේ දත් දිරායාම අඩු වී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත.

2015/2016 වසර වලට අදාලව ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (28) පෙරවරුවේ බාර දෙන ලදි. එම සමීක්ෂණ වාර්තාවට අනුව වයස අවුරුදු 06 ට අඩු දරුවන්ගේ දත් දිරායාමේ ප්‍රතිශතය සියයට 63.1 දක්වා අඩු වී ඇත. 1994 වසරේ සිදු කළ සමික්ෂණයට අනුව එම තත්ත්වය පැවැතුනේ සියයට 76.4 ක් ලෙසයි. 2002 සමීක්ෂණයට අනුව සියයට 65.5 ක අගයක් එහි දක්නට ලැබුනි.

වයස අවුරුදු 15 ට අඩු දරුවන්ගේ දත් දිරායාමේ ප්‍රතිශතය සියයට 30 දක්වා අඩු වී ඇත. 1994 සංගණනයට අනුව එය පැවැතුනේ සියයට 53.1 ක් ලෙසයි. මෙම සමීක්ෂණයට අනුව නිරෝගී විදුරුමස් සහිත වයස අවුරුදු 12 ට අඩු දරුවන්ගේ ප්‍රතිශතය සියයට 55.3 ක් දක්වා වර්ධනය වී ඇත. 1994 වසරේ සංගණනයට අනුව එම තත්ත්වය පැවැතුනේ සියයට 13.3 ක් ලෙසයි. 2002 සංගණනයට අනුව එය සියයට 27.2 ක් විය. වයස අවුරුදු 35-44 ත් අතර වයස් කාණ්ඩයේ නිරෝගී විදුරුමස් සහිත ප්‍රතිශතය සියයට 47.4 ක් දක්නට ලැබෙන අතර, 1994 සංගණනයට අනුව එය සියයට 2.1 ක් විය.

නව සමීක්ෂණයට අනුව නිරෝගී විදුරුමස් සහිත ප්‍රතිශතය වැඩිවීම සහ දත් දිරායාම අඩුවීම සදහා පාසල් දන්ත සායන, රෝහල් දන්ත සායන, ෆ්ලොරයිඩ් සහිත දන්තාලේප හදුන්වාදීම, දන්ත සෞඛ්‍ය වැඩමුළු හේතු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසිය. මෙම සමික්ෂණය සිදු කර ඇත්තේ මහරගම දන්තායතනයේ විශේෂඥ වෛද්‍ය යු.එස් උස්ගොඩ ආරච්චි මහතා ඇතුලු දන්ත ශල්‍ය වෛද්‍යවරුන් පිරිසකි.

ශ්‍රී ලංකා දන්ත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දන්ත සේවා ආනන්ද ජයලාල් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.