සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ස්ටෙන්ස්, අක්ෂි කාච නොමිලේ ලබාදීමට අයවැයෙන් රුපියල් බිලියන 10 ක මුදලක් ලබාගැනීමට සුව ඇමැතිගෙන් යෝජනාවක් 2019-02-28

ස්ටෙන්ස්, අක්ෂි කාච නොමිලේ ලබාදීමට අයවැයෙන් රුපියල් බිලියන 10 ක මුදලක් ලබාගැනීමට සුව ඇමැතිගෙන් යෝජනාවක්.
නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්ති වඩාත් පුළුල් කරමින් නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ රෝගීන් වෙත ලබාදීම අරමුණූ කර ගනිමින් 2019 වසරේ අයවැය ඉදිරිපත් කිරීමේ දී සෞඛ්‍ය සේවාව සදහා යෝජනා රැසක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
එහිදී පසුගිය වසර 03 තුල පිළිකා රෝගීන් සදහා වැයවන මිල අධික ඖෂධ වියදම සීමාවකින් තොරව මුළු ජීවිත කාලය සදහාම ලබාදීම, හෘද රෝගීන්ගේ හෘද සැත්කම් සදහා අවශ්‍යවන ස්ටෙන්ස් නොමිලේ ලබාදීම, අක්ෂි රෝගීන්ගේ අක්ෂි සැත්කම් සදහා අවශ්‍ය වන අක්ෂි කාච රජය විසින් නොමිලේ ලබාදීම, සියලුම රෝග පරීක්ෂණ රෝහල් වලින්ම සිදු කිරිම සහ රෝහලේ අදාල පරීක්ෂණ පහසුකම් නොමැති අවස්ථාවල බාහිර රසායනාගාර වලින් රජයේ වියදමින් එම පරීක්ෂණ සිදු කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක විය. මෙම ප්‍රතිපත්තිමය තීරණයට අනුව ඖෂධ, ශල්‍ය සැරහුම්, ශල්‍ය පරිභෝජ්‍ය ද්‍රව්‍ය සදහා වාර්ෂිකව අතිරේකව විශාල මුදලක් වැය වෙයි. 2019 වසරේ දී එම පහසුකම් ලබාදීම සදහා රුපියල් බිලියන 10.5 ක මුදලක් රාජ්‍ය අයවැයෙන් ලබාගැනීමට තමන් යෝජනා කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මීට අමතරව මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා මිලියන 1053 ක මුදලක් අයවැය මගින් ලබාගැනීමට යෝජනා කර ඇත. මහනුවර, කුරුණෑගල, හලාවත, අම්පාර, පොළොන්නරුව වැනි රෝහල් 20 ක මානසික සෞඛ්‍ය මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට නියමිතය. වැලිසර ළය රෝහල ආශ්‍රිතව ක්ෂය රෝග මර්දනයට රසායනාගාරයක් ස්ථාපිත කිරීම සදහා රුපියල් මිලියන 70 ක් ලබාගැනීමට නියමිතය. වැලිසර ප්‍රදේශයේ නවීන ඖෂධ ගබඩා සංකීර්ණයක් ඉදිකිරිම සදහා රුපියල් මිලියන 2225 ක් ලබාගන්නා අතර පේරාදෙනිය ශික්ෂණ රෝහල සංවර්ධනය කිරිම සදහා රුපියල් මිලියන 3820 ක මුදලක් ලබාගැනීමට යෝජනා කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ දී හල්දුම්මුල්ල සහ පට්ටිපොල ඔසු උයන් සංවර්ධනය කිරිම සදහා රුපියල් මිලියන 135 ක මුදලක් ලබාගැනීමට යෝජනා කර ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම කරුණු ආනාවරණ කළේ මතුගම මීගහතැන්න හරන්කහපත විහාරස්ථානයේ සහ මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පැවැති ජනහමු දෙකකට පසුගියදා එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ඇතැම් සෞඛ්‍ය තීරණ ලබාගැනීමේ දී විවිධ බලපෑම් එල්ල වුනා. ඇතැම් වෛද්‍යවරුන් මෙම වැඩපිළිවෙලට සහයෝගය ලබාදුන්නත් ඇතැම් වෛද්‍යවරුන් ඊට විරුද්ධයි. ස්ටෙන්ස් අක්ෂි කාච නොමිලේ ලබාදීමේ වැඩපිළීවෙල හේතුවෙන් ඇතැම් වෛද්‍යවරුන්ට ලැබුණු කොමිස් මුදල් අඩුවීම හේතුවෙන් මාව විවේචනය කරනවා. නමුත් මම මෙම ගමන නතර කරන්නේ නැහැ. තවත් ඖෂධ වර්ග 27 ක මිල ඉදිරියේ දී අඩු කරනවා. මේ වනවිට ඖෂධ වර්ග 73 ක මිල අඩු කර තිබෙනවා. ඖෂධ වර්ග 27 ක මිලත් අඩු කිරීම තුලින් වෙළෙදපොලේ භාවිත කරන විවිධ වෙළෙද නාමයෙන් යුත් ඖෂධ වර්ග 1000 ක පමණ මිල අඩු වෙනවා. කළුතර දිස්ත්‍රීක්කයේ ජනතාව මා වෙත ලබාදුන් ජනවරම කාටවත් විකුණුවේ නැහැ. විකුණන්නෙත් නැහැ. මහජනතාව වෙනුවෙන් අපි වැඩ කරනවා. ඉදිරියටත් ජනතාවට සහන ලබාදෙනවා.”
මෙම අවස්ථාවට  මතුගම මීගහතැන්න හරන්කහපත විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කුරුපිට සීවලී නාහිමියන්, කොල්වින් නෑහින්න මහතා ඇතුලු ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.
ස්තුතියී,
මෙයට,
..............................
ප්‍රසන්න අධිකාරි
අධ්‍යක්‍ෂ (මාධ්‍ය(