සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

මොළය මියගිය පුද්ගලයන්ගේ වකුගඩු ඇතුළු රෝගීන් වෙත බද්ධ කිරීම සදහා ගුවන් මගින් ප්‍රවාහනය කිරීම පිළිබද අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි 2019-01-10

 

හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ සිදු විය.

 

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණු අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඊට අත්සන් තැබූහ.

 

වකුගඩු රෝගයට අවසාන ප‍්‍රතිකාරය ලෙස දැනට හදුනාගෙන ඇත්තේ වකුගඩු බද්ධකිරීම හෝ රුධිර කාන්දුකරණයට ලක් කිරීමයි. එසේ වුව ද වකුගඩු බද්ධකිරීම සඳහා ගැළපෙන වකුගඩුවක් සොයාගැනීම ඉතා අපහසු කරුණකි. දැනට මේ සඳහා පවතිනුයේ පවුලේ කෙනෙකුගෙන් හෝ වකුගඩුවක් දන් දෙන කෙනෙකුගෙන් බද්ධ කිරීම සඳහා වකුගඩු ලබාගැනීමයි. එබැවින් වකුගඩුවක් බද්ධකර ගැනීමට හැකිවී ඇත්තේ ඉතා සීමිත පිරිසකට පමණි.

 

මේ හේතුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අධීක්ෂණය මත කි‍්‍රයාත්මක වන වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය මගින් මේ සඳහා සුදුසු පියවරක් ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා එක්ව හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු, වකුගඩු රෝගින් වෙත බද්ධ කිරීමේ ව්‍යාපෘතිය මහනුවර මහ රෝහල හා ඒකාබද්ධ වෙමින් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන ලදී.

 

මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු බද්ධ කිරීමෙන් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මගින් මේ වන විට වකුගඩු හෘදය, අක්මාව, අගන්‍යාසය, ඇස් හා පටක ඇතුළු අවයව කොටස් බද්ධකිරීමේ කටයුතු ද සිදුකරමින් පවතී. දිනකට හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයන් පස් හය දෙනෙකු මියයන අතර මියයන පුද්ගලයන්ගේ නිරෝගි අවයව මෙලෙස රෝගින් සඳහා බද්ධ කිරීමේ ව්‍යාපෘතිය මේ යටතේ කි‍්‍රයාත්මක කර ඇත.