සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ජනතාවගේ ජීවන වියදම වැඩි වන්නේ අමතර ක්‍රියාකාරකම් නිසා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 2019-01-04

 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රචාරක නිලධාරී තනතුරු දෙකකට, ශ්‍රව්‍ය දෘෂ්‍ය නිලධාරී තනතුරු දෙකකට, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී තනතුරු 25 කට, සෞඛ්‍ය රථ ධාවන ක්‍රියාකරු තනතුරු 50 ක් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (04) එක්වෙමින්   සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු කෙරිනි.
 
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - සමාජවාදී නායකයින්ට වඩා මම ජනතාවට අවශ්‍ය දේවල් ලබා දී තිබෙනවා. සමාජවාදී නායකයින් දෑකැත්තයි රතු කොඩියයි ගහගෙන හිටියාට වැඩක් නැහැ. ඔවුන් දුප්පතුන්ට බත් පැකට් එකක්වත් ලබා දී නැහැ. අපි යහපාලනය කියලා එකපාරම රහත් වෙන්න පටන් ගත්තා. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී වෙන්නේ නැතිව එකපාරම රහත් වුනා. එයයි අපට වැරදුනේ. මිනිසුන්ට විඥානය තිබෙනවා. එම නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සදහා ගාලු මුවදොර පිටියට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පැමිණියේ. රජය සිදු කරන සංවර්ධන ව්‍යාපෘති පිළිබදව මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මම පක්ෂය කරේ තබාගෙන ඉන්නේ නැහැ. වැරැද්ද වහගෙන මම කටයුතු නොකර හොද නරක තෝරා බේරාගෙන ඉදිරියට ගමන් කරනවා.
 
යහපාලන නිසා තමයි නඩු තීන්දු නිවැරදිව ලැබුනේ. ඉන් පසු තමයි ජනතාවට යහපාලනය තේරෙන්න පටන් ගත්තේ. අධිකරණය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තුට්ටු දෙකට ගණන් ගත්තේ නැහැ. නීතිය විතරයි බැලුවේ. නීතියෙන් සාධාරණත්වයේ පාලනයක් තිබෙනවා.
 
වත්මන් රජය රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප රුපියල් 10,000 කින් වැඩි කළා. නමුත් මහජනතාව දැනුවත් කළේ නැහැ. මහජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කරලා තමයි අපි බැනුම් අහුවේ. මුලික වැටුප වැඩිවීමත් සමග රාජ්‍ය සේවක අතිකාල දීමනා ද වැඩි වී තිබෙනවා. සෞඛ්‍ය සේවකයින්ගේ පමණක් වැටප් වැඩිවීම හේතුවෙන් අතිකාල දීමනා ගෙවීමට වසරකට රුපියල් බිලියන 03 ක් අවශ්‍ය වෙනවා. වර්තමානයේ ජීවන වියදම වැඩියි කියනවා. ආහාර වලින් පමණක් ජීවන වියදම වැඩි වන්නේ නැහැ. අමතර ක්‍රියාකාරකම් නිසා තමයි ජීවන වියදම වැඩි වන්නේ.
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරින් එක්ව සිටියහ
 
ස්තූතීයි.   
                               
 
මෙයට,
විශ්වාසී
 
ප්‍රසන්න අධිකාරි
අධ්‍යක්‍ෂ (මාධ්‍ය)