සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්තවේද විශේෂිත රෝහලේ ඉදිකිරිම් කටයුතු ඇරඹේ 2018-07-23


චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්තවේද විශේෂිත රෝහලේ ඉදිකිරිම් කටයුතු ඊයේ දින (21) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් පොළොන්නරුවේ දී සිදු කෙරිනි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “වකුගඩු රෝගීන් සදහා විධිමත් ප්‍රතිකාර සේවාවක් ආරම්භ වුයේ යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුවයි. රජයේ රෝහල්වල ඇති රුධිර කාන්දුකරණ යන්ත්‍ර සංඛ්‍යාව මේ වසර අවසන් වන විට 500 දක්වා වැඩි කරනවා. ඉන්දීය සමාගමක් සමග සාකච්ඡා කර තිබෙනවා තවත් රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන 900 ක් දිවයින පුරා ස්ථාපිත කිරිමට. තව ද ජංගම රුධිර කාන්දුකරණ සායන ද පවත්වනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් වලට අනුව යහපාලන රජයේ ප්‍රතිපත්තිවලට අනුව තමයි වකුගඩු රෝගීන්ට විධිමත් වැඩපිළිවෙළක් දියත් කර ඇත්තේ. උතුරුමැද පළාතේ වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉදිකරන මෙම රෝහල අංග සම්පුර්ණ රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරනවා. වසර 2020 දී එහි ප්‍රතිකාර සේවා ආරම්භ කිරීමටයි සැළසුම් කර ඇත්තේ. මෙවැනි රෝහලක් උතුරු මැද පළාතේ අසරණ වකුගඩු රෝගීන්ට ලබාදීම පිළිබදව මම චීන රජයට ස්තූතිවන්ත වෙනවා.”

මෙම රෝහල ඉදිකිරීම සදහා වැය කරන මුදල රුපියල් මිලියන 12,000 කි. දකුණූ ආසියාවේ විශාලතම වකුගඩු රෝහල වන මෙය ලොව නවීනතම පරීක්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් සමන්විත වෙයි. රෝගී ඇදන් 200 කින් සමන්විත වාට්ටු සංකීර්ණය රුධිරකාන්දුකරණ යන්ත්‍ර 100 කින් සමන්විත වෙයි.

මෙම අවස්ථාවට චීන ශ්‍රී ලංකා  තානාපති ගරු වෙන්ග් ශුඇන් යුඇන් මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.


නිපුන් ඒකනායක,

ගරු සෞඛ්‍ය  පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්