සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරින් 2014 කට සහ මනෝ වෛද්‍ය සමාජ සේවක නිලධාරීන් 28කට පත්වීම් ලිපි ප්‍රදානය කිරිම 2018-06-22


අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් පස්වරු 4.00 පසු සේවය කිරිම කැමැති නම් රෝහල්වල අක්ෂි ශල්‍ය සැත්කම් පොරොත්තු ලේඛණය අවම කිරීමට හැකි බව සුව ඇමැති පවසයි.


මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරින් 2014 කට සහ මනෝ වෛද්‍ය සමාජ සේවක නිලධාරීන් 28කට පත්වීම් ලිපි ප්‍රදානය කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (21) පස්වරුවේ පැවැත්විනි.


මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “බෝවන රෝග පාලනය කිරීමට මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් විශාල සහයෝගයක් ලැබුනා. මනෝ වෛද්‍ය නිලධාරීන් පෙර කාලයේ සිටියේ පෞද්ගලික අංශයේ පමණයි. රාජ්‍ය සේවයට ඇතුලු වීමට ඇතැම් වෛද්‍යවරුන් ඉඩ දුන්නේ නැහැ. විශේෂඥ මානසික වෛද්‍යවරුන් දැනට ඉන්නේ 85 ක් පමණයි. එය ප්‍රමාණවත් නැහැ. එම නිසා එවැනි වෛද්‍යවරුන් බදවා ගත යුතුයි. වාණිජ ලෝකය තුල ජනතාව තුල මානසික ගැටලු ඇතැම් විට වැඩි වී තිබෙනවා. සියදිවි නසා ගැනීම් වැඩි වී තිබෙනවා. මානසික රෝග වලට ගොදුරු වූවන් ද ඇතැම් විට වැඩි වී තිබෙනවා.


“රාජ්‍ය සේවය සහ සෞඛ්‍ය සේවාව තුල වැටප් දීමනා ලැබෙනවා. නමුත් සෞඛ්‍ය සේවය තුල පිං ලැබෙනවා. ඔබලා ජනතාවට නිරෝගීභාවය ලබාදෙන වෘත්තීයකට තමයි අද ඇතුලු වන්නේ. බරවා, මැලේරියා රෝග ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට හැකි වුයේ ක්ෂේත්‍ර නිලධාරීන් නිසා. රෝහල්වල ප්‍රතිකාර කළ අය නිසා නොවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ නිදහස් සෞඛ්‍ය සේවය ඇගයීමට ලක් කරනවා. යහපාලනය තුලින් සියලු දෙනාටම නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ ලැබී තිබෙනවා. වසර 2020 වනවිට සෞඛ්‍ය සේවාවට අයවැයෙන් ලබාදෙන මුදල සියයට 5 දක්වා වැඩි කරන බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අපි පොරොන්දු වුනේ සියයට 3 යි. 2018 වසරේ දී එය සියයට 3.24 දක්වා වැඩි වී තිබෙනවා. යහපාලන රජය ස්ථාපිත කිරීමේ දී අනවශ්‍ය විදයම් කපා හැරීමට අපි තීන්දු කළා. නමුත් ප්‍රචාරක කටයුතු සිදු කළ යුතුයි. නැතිනම් ජනතාව අපි කරන වැඩ ගැන දන්නේ නැහැ. ලෙඩ රෝගවලට කාටත් මුහුණ දෙන්න වෙනවා. මිනිස් ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා. ඊට වඩා හෘද සාක්ෂිය වැදගත්.”


“අක්ෂි කාච නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙල හේතුවෙන් අක්ෂි කාච ඉල්ලුම ලක්ෂ දෙහමාරක් පමණ වෙනවා. අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් පස්වරු 4.00 පසු වැඩ කිරීමට කැමැති නම් රෝහල්වල අක්ෂි ශල්‍ය සැත්කම් පොරොත්තු ලේඛණය අවම කරන්න පුළුවන්. සැමට සාධාරණ සෞඛ්‍ය සේවයක් අපි ගොඩනගන්නේ. පසුගිය රජය හිමිකර දුන් ණය ගෙවමින් තමයි සෞඛ්‍ය සේවාව ගොඩ නගන්නේ. වත්මන් රජය රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළා. එම නිසා සෞඛ්‍ය සේවකයින්ගේ පමණක් අතිකාල දීමනා ගෙවීමට වාර්ෂික රුපියල් බිලියන ගණනාවක් වැය වෙනවා. වසර 2020 වන විට රාජ්‍ය සේවකයින්ට තවත් වරප්‍රසාද ලබාදීමට රජය සුදානම්.”


මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ඩොනල්ඩ් මුරගේ, ඩබ්.ඒ.ඩී කරුණාතිලක ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, වෘත්තීය සමිති නායකයින් එක්ව සිටියහ.

 



නිපුන් ඒකනායක,


ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්,