සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 38 වන ඔසුසල මොණරාල නගර මධ්‍යයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) විවෘත විය 2018-06-18

මෙම ඔසුසල ශාඛාව විවෘත කිරිමත් සමග ඔසුසල ශාඛා සංඛ්‍යාව 38 දක්වා ඉහළ යන අතර, ඉදිරියේ දී මාතලේ, පේරාදෙණිය, දඹුල්ල කෑගල්ල යන නගර වල දී අලෙවි ශාඛා විවෘත කිරීමට නියමිතව ඇත.

 

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “එක්සත් ජාතික පක්ෂය ධනපති පක්ෂයක් වුවත් ජනතාව වෙනුවෙන් සේවය කරනවා. ප්‍රගතිශීලී පක්ෂ වල ප්‍රතිපත්තිත් මම හොදට දන්නවා. වසර 5 කට පසු සේනක බිබිලේ ප්‍රතිපත්තිය ලංකාව තුල ක්‍රියාත්මක කළේ යහපාලන රජයයි. අත්‍යාවශ්‍ය ඖෂධ මිල අඩු කිරීමේ දී විවිධ බලපෑම් එල්ල වුනා. ඖෂධ මාෆියාව හරිම දරුණුයි. මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි වත්මන් ජනාධිපතිවරයා සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමට උත්සාහ කළත් ලිපිගොනු පවා අතුරුදන් වුනා. නමුත් මම දින 100 තුල ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කළ අතර එහි වෙළෙද නාම ඖෂධ සංඛ්‍යාව 472 ක් වෙනවා. ඖෂධ මිල අඩු වූ බව දන්නේ නැත්තේ බෙහෙත් ගන්නේ නැති අය විතරයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 35000 ඉක්මවා තිබෙනවා. ලාභය මිලියන 1900 ක් වනවා. සේවක වැටුප් සියයට 50 කින් ඉහළ දැමීමට පියවර ගත්තා. ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම සදහා සමාගම් 48 ක් සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා. වසර 2019 අවසන් වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ සියයට 90 ක් මෙරටදීම නිෂ්පාදනය කිරිමට පියවර ගන්නවා.”

 

“සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ආයතන ලාභ ලබමින් පවතිනවා. මහා භාණ්ඩාගාරයේ මුදල් ලබාගෙන නොවෙයි එම ආයතන පවත්වාගෙන යන්නේ. ලාභය මතයි. මහා භාණ්ඩාරයේ මුදල් තිබෙන්නේ දුප්පතුන්ට සේවය කිරිමටයි. එම මුදල් පඩිනඩි ගෙවීමට ලබාගැනීම ගැන මම කැමති නැහැ. මමත් රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිතුමත් ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යලයෙන්. එය බෞද්ධ පාසලක්. අපි නිර්මල බුදුදහම ඉගෙන ගත්තේ කොටගම වාචිශ්සර හිමියන්ගෙන් උන් වහන්සේ අද හිටියා නම් රටටම බෞද්ධ දර්ශණය උගන්වයි. නිර්මල බුදු දහම තමයි අපි ඉගෙනගත්තේ. ඔය එක එක්කෙනා කියන සිංහල බෞද්ධ දහම නොවෙයි. රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා පක්ෂය තුල බය නැතිව වැඩ කරනවා. මීට පෙර නීතිය හා සාමය අමාත්‍යාංශය තිබුනේ කොහොමද. මම හැමදාම එම අමාත්‍යාශය විවේචනය කළා. පසුගිය රජයේ හොරු බේර ගන්න හැදුවා. ජනවරම විකුණන්න හැදුවා. නීති විරෝධී මත්පැන් මැඩලීම සදහා අපි ලබන අගහරුවා දා විශේෂ රැස්වීමක් සුදානම් කර තිබෙනවා. මමත් එම රැස්වීමට යනවා. මොකද මමත් කැමැතියි පාතාලයේ නායකයින්ගේ වැඩ කිඩ පිළිබදව බලන්න. පාතාලය ක්‍රම ක්‍රමයෙන් අවසන් කළ යුතුයි. ඝාතන වැඩිවෙලා කියලා ඇතැමුන් ප්‍රකාශ කරනවා. නමුත් සුදු වෑන් සංස්කෘතිය දැන් නැහැ. ඒ කාලයේ තමයි සුදු වෑන් සංස්කෘතිය තිබුනේ. පාතාලය එකවර මඩින්න බැහැ. අපේ අය හිතන්නේ කඩිනමින් පාතාලය මඩින්න පුළුවන් කියලා. පිලිපීනයේ නායකයා පාතාලය මඩින්න උත්සාහ කළත් එය බැරි වුනා. පාතාලය මැඩලීම සදහා නීතිය හා සාමය පිළිබද අමාත්‍යවරයා ගන්න ඕනෑම තීන්දුවකට මම එකග වෙනවා. පසුගිය රජයේ මිනීමැරුම්, වංචා දුෂණ සොරකම් කළ දේශප්‍රේමීන්ට එරෙහිව අපි සටන් කරනවා. අපි ලැබුන ජනවරම පිළිබදව අවබෝධයෙන් ඉන්නේ. සමහරුන්ට අවබෝධයක් නැහැ. නමුත් කිහිප දෙනෙකුට එම ජනවරම ඇගට ඇලිලා තිබෙන්නේ.”  

 

මෙම අවස්ථාවට අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, පළාත් සභා මන්ත්‍රීවරුන්, රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

නිපුන් ඒකනායක,

 

ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්,