සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

දකුණේ වෛරස් උණ රෝගීන්ට ලබාදීමට යෝජනා කර ඇති ඉන්ෆ්ලුවෙන්සා එන්නත පිළිබදව සුව ඇමැති කරුණු දක්වයි. 2018-05-31

 
දකුණේ වෛරස් උණ රෝගයට ගොදුරු වූ රෝගීන්ට ලබාදීමට යෝජනා කර ඇති    ඉන්ෆ්ලුවෙන්සා එන්නත විශේෂඥ වෛද්‍යවරුන්ගේ කමිටුවක් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත පමණක් රෝහල් වලට ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
 
නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අද (31) පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුලුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “දකුණේ වෛරස් උණ රෝගයට ගොදුරු වූ රෝගීන් සදහා යෝජනා කර ඇති එන්නත මාධ්‍ය කියන විදිහට ලබාදෙන්න බැහැ. එන්නත් ලබා දීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි.  දේශපාලනඥයින් විදිහට ඇතැම් අය ජනප්‍රිය තීන්දු තීරණ ගන්නවා. නමුත් මම ජනප්‍රිය තීන්දු තීරණ ගන්නේ නැහැ. උදාහරණයක් විදිහට පිලිපීනයේ ජනාධිපතිවරයා එරට ඩෙංගු රෝගයට ගොදුරුවූවන් සදහා ඖෂධයක් ගෙන්වා තිබෙනවා. මේ වන විට ඒ පිළිබදව ජනාධිපතිවරයාට දුෂණ චෝදනා එල්ල වෙලා. ඒ ජනප්‍රිය තීන්දු තීරණ ගත්ත නිසයි. මම මෙම එන්නත පිළිබද සොයාබැලීම සදචහා විශේෂඥ වෛද්‍ය කමිටුවකට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කරනවා. එහි අනුමැතිය ලැබුනොත් පමණක් රෝහල් වලට ලබාදෙනවා. ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් වුවත් ගන්නා තීන්දු තීරණ හරිම ප්‍රබලයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ද එය පිළීගෙන තිබෙනවා. අපි විද්‍යානුකූල සහ නිවැරදි තීන්දු ගත යුතුයි.”
 
මෙහිදී දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ද අදහස් පළ කරන ලදි. “සෞඛ්‍ය අමාත්‍යවරයා ජිනීවා නුවර පැවැති ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වී සිටියත් උණ රෝගය පිළිබදව දෛනිකව තොරතුරු සොයා බැලුවා. අවශ්‍ය වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සහ උපකරණ දකුණු පළාතේ රෝහල්වලට ලබාදුන්නා. නමුත් ඇතැම් මාධ්‍ය වැරදි කරුණු වාර්තා කළා. මම මේ පිළිබදව කණගාටුවට පත් වෙනවා. වෛරස් උණ රෝගය පැතිරයාමත් සමග සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත අවශ්‍ය සියලුම පහසුකම් අපට ලබාදුන්නා. නමුත් මාධ්‍ය පෙන්වන්නේ මොනාවත් ලැබුනේ නැහැ කියලා. ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ට ලබාදෙන එන්නත නැති වුනොත් දරුවෝ මැරෙනවා කියලා තමයි මාධ්‍ය පෙන්වා දුන්නේ. නමුත් එවැනි තත්ත්වයක් නැති බව වෛද්‍ය මතයයි. දකුණු පළාතේ කිසිම පළාත් රෝහලක වෛරස් උණ රෝගයෙන් කිසිම රෝගියෙකු මැරුණේ අසාධ්‍ය  රෝගීන් සහ වෙනත් සංකූලතා වලට ගොදුරු වූ රෝගීන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ පසු මිය ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලපු හැම දෙයක්ම ලබාදුන්නා. මාධ්‍ය මගින් කියන තරම් ප්‍රශ්නයක් නැහැ. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.”
 
මෙහිදී දකුණු පළාතේ රෝහල්වලට අවම වශයෙන් වෛද්‍යවරුන් 120 ක් වත් තවත් අවශ්‍ය බව ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ප්‍රමුඛතාවය අනුව වෛද්‍යවරුන් ලබාදෙන ලෙසත්, අවම වශයෙන් මුලිකව වෛද්‍යවරුන් 50 ක් වත් දකුණු පළාතේ රෝහල්වලට යොමු කරන ලෙසයි.
 
මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.