සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

“ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව විශිෂ්ටයි.” ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහතිකයක්. 2018-04-12

 
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අසියානු රටවල පමණක් නොව ලොව විශිෂ්ටතම සෞඛ්‍ය සේවාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්  Dr Tedros Adhanom Ghebreyesus මහතා පවසයි.
 
ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් කොළඹ නෙලුම්පොකුණ රගහලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා - “ආසියානු රටවල පමණක් නොවන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලොව සෑම රටකටම ආදර්ශයක්. හරිම විශිෂ්ටයි. ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ නිදහස් සෞඛ්‍ය සේවයක් වීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාව වන්නේ සැමට සෞඛ්‍ය යන සංකල්පයයි. එම සංකල්පය ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රී ලංකාව තුල වර්තමානයේ පැහැදිලි දේශපාලන නායකත්වයකින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙය වනවා. අඩු ආදායම් ලාභි රටක් ලෙස තීබූ ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්ව තිබෙනවා. හොද සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන්නේ එවැනි වටපිටාවකයි. ඉහළ ආදායමක් ලබන රටවලට ද එය ආදර්ශයක්. එම නිසයි ලෝක සෞඛ්‍ය සංවිධානය 70 වන සංවත්සරය ශ්‍රී ලංකාවේ දී සැමරීමට තීරණය කළේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ අභියෝග ලෙස බෝනොවන රෝග,මානව සම්පතේ හිගය හදුනාගෙන තිබෙනවා. එම අභියෝග ජය ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රසංසනීයයි. රටේ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරිම පිළීබදව ද මම සතුටට පත් වෙනවා. බෝනොවන රෝග පාලනය කිරීමේ දී දුම්කොළ භාවිතය අවම කිරීම එක් කරුණක්. ලෝකයේ වැඩිම බද්ද වන සියයට 90 ක් වූ බදු පනවා ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්ති සහගතව දුම්කොළ භාවිතය අවම කරනවා. අභියෝග කොතරම් ඉහළ වුවත් ශ්‍රී ලංකා රජයේ දැඩි කැපවීම සහ ඒවාට පිළිතුරු සැපයීමේ හැකියාව තිබෙනවා. මෙවැනි බොහෝ අභියෝග මධ්‍ය යේ වුව ද ශ්‍රී ලංකාව විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අගය කළ යුතුයි. ඒ සදහා දායක වූ සියලු දෙනාට මම සුබ පතනවා. ප්‍රජාවගේ සහභාගීත්වය නොමැති නම් මෙම ජයග්‍රහණ ලබාගත නොහැකියි. එහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරීම ඉතාම වැදගත්. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා. ඒ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය ද සහයෝගය ලබාදෙනවා. එම ප්‍රතිඵල මත ඉදිරියේ දී තවත් ක්‍රියාමාර්ග ගත හැකියි. අනෙක් සංකල්පය තමයි තමා විසින් ම සෞඛ්‍ය සේවාව ගොඩනගා ගත යුතුයි. සෞඛ්‍ය නිෂ්පාදනයක් ලෙස සැළකිය හැකියි. තනි තනිව හෝ පවුල් වශයෙන් සෞඛ්‍ය සේවාව නිෂ්පාදනය කළ හැකියි. ප්‍රජාවේ සෞඛ්‍ය සේවාව වර්ධනය කිරීම සදහා අධ්‍යාපනයට සහ මාධ්‍යයට වගකීම් රැසක් පැවරෙනවා. පවුල් සෞඛ්‍ය සේවාව පිළිබදව අවධානය යොමු කිරිම ඉතා ප්‍රතිඵලදායකයි. ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා මරණ අවම වීමත් අගය කරනවා. දුම්කොල භාවිතය අවම කිරීම සදහා බදු අය කිරිම පමණක් නොව වළක්වා ගැනීම සදහා විවිධ වැඩසටහන් දියත් කළ යුතුයි. දුම් පානය සහ මත්පැන් භාවිතය ජනතාව ඝාතනය කරනවා. බදු ඉහළ දැමීම තුලින් දුම්වැටි භාවිතය අවම වනවා. දුම්පානය අවම කිරිම සදහා තව තවත් ක්‍රියාමාර්ග ගත යුතුයි.”