සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ශ්‍රී ලංකාවේ හෙද හෙදියන්ට කොරියාවේ ඉන්ජේ (Inje) විශ්ව විද්‍යාලයේ පුහුණුව ලබාදීමට අදාල නව ගිවිසුමක් අත්සන් කෙරේ. 2018-01-17

ශ්‍රී ලංකාවේ හෙද හෙදියන්ට කොරියාවේ ඉන්ජේ (Inje) විශ්ව විද්‍යාලයේ පුහුණුව ලබාදීමට අදාල නව ගිවිසුමක් අත්සන් කෙරේ.
 
ශ්‍රී ලංකාවේ හෙද හෙදියන්ට කොරියාවේ ඉන්ජේ (Inje) විශ්ව විද්‍යාලයේ පුහුණුව ලබාදීම ඇතුලු කරුණු කිහිපයකට අදාලව මෙතෙක් පැවැති ගිවිසුම නව ගිවිසුමක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම සදහා ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කරන ලදි.
 
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඉන්ජේ විශ්ව විද්‍යාලය අතර, 2013 වසරේ අත්සන් කළ ගිවිසුම 2017 වසරේ දී අවසන් විය. නව ගිවිසුම අනුව හෙද අධ්‍යාපනය, හදිසි ප්‍රතිකාර සේවා හෙද සේවාව, හෙද පශ්චාත් උපාධි පාඨමාලව ක්‍රියාත්මක කිරීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්ථාපිත කළ හෙද පීඨයට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබාදීමට ද ඉන්ජේ විශ්ව විද්‍යාලය එකගත්වය පළ කර ඇත.
 
2017 වසරේ දී ගිවිසුම අත්සන් වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා කොරියාවේ කළ සංචාරයක දී කළ ඉල්ලීමකට අනුව නව ගිවිසුම අත්සන් කරන ලදි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඉන්ජේ විශ්ව විද්‍යාලයේ නිලධාරීන් විසින් ගිවිසුම් අත්සන් කළ අතර, ඉන් පසු ඔවුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු සිහිවටනයක් ද පරිත්‍යාග කරන ලදි.
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස් යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියේය .
 
මෙයට අදාල දර්ශණ https://youtu.be/1bnIt0DOcLQ ඔස්සේ ලබාගත හැක.