සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

2016 වසරේ මාතෘ මරණ සමාලෝචන වාර්තාව සුව ඇමැතිට. 2017-12-28

2016 වසරේ මාතෘ මරණ සමාලෝචන වාර්තාව සුව ඇමැතිට.


2016 වසරේ සිදු වූ මාතෘ මරණ සමාලෝචන වාර්තාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පිරිනැමීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරිනි. වාර්තාව බාරදෙනු ලැබුයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රියාණි සේනාධීර මහත්මිය සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා අතිනි.


රට තුල වාර්තා වන සෑම ගර්භනී හෝ පසු ප්‍රසව මරණයක්ම වැරදි නොසොයන පදනමක් තුල පුළුල් විමර්ශනයකට ලක් කරනු ලබයි. මෙම ක්‍රියාවලිය ක්ෂේත්‍ර, රෝහල්, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේදී සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල සහභාගිත්වයෙන් සිදුකරනු ලැබේ. මෙම ක්‍රියාවලියේ ප්‍රධාන විද්වත් දායකත්වය ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ සංගමය ලබාදෙයි. ශ්‍රී ලංකා නිර්වින්දන  වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ සංගමය ද තාක්ෂණික සහය ලබාදෙයි.


මෙම වාර්තාවට අනුව 2016 වසරේදී මාතෘ මරණ 112 ක් සිදුවී ඇත. ඒ අනුව මාතෘ මරණ අනුපාතිකය සජීවී දරු උපත් ලක්ෂයකට 33.8 ක් ලෙස ගණනය කර ඇත. මෙය දකුණු ආසියාතික කලාපයේ හොඳම මාතෘ මරණ අනුපාතිකයයි. එහෙත් පසුගිය වසර 7 පුරාම ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතිකය එකම මට්ටමේ පවතී. සෘජු මාතෘ මරණ මෙවර වැඩි වී ඇත. එය 55% කි. පසු ප්‍රසව රක්තපාතය, හදවත් රෝග හා ගැබ් තරලය රුධිරයට මුසුවීම ප්‍රධානතම හේතු ලෙස සොයාගෙන ඇත. මාතෘ මරණ වලින් 68% කම විවිධ මට්ටමේදී ප්‍රමාද වීම් සිදුවී ඇත. මියගිය මවුවරුන්ගෙන් 43% ක් නිසි වෙලාවට වෛද්‍ය උපදෙස් ලබා ගෙන හෝ රෝහලකට පැමිණ නොමැත. සෞඛ්‍ය කාර්යමණ්ඩල වල ප්‍රමාද වීම් මරණ 44 කට සෘජු හෝ වක්‍රව දායක වී ඇත. නිසි පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත නොකිරීම නිසා මවුවරු 20 කට ජීවිතය අහිමි වී ඇත.
අදාළ මරණ වලින් 55% ක් වලක්වා ගත හැකිව තිබු මරණ බව ද එම වාර්තාවේ දැක්වේ.




එම මරණ තවදුරටත් සිදු වීම වැලැක්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ රැසක් මෙහිදී ගනු ලැබීය.


මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන සුනිල් ද අල්විස් සහ හේමන්ත බෙනරගම යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍ය වරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය දීපාල් වීරසේකර සහ ශ්‍රී ලංකා නිර්වින්දන  වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින්  විශේෂඟද වෛද්‍ය රම්‍යා අමරසේන ඇතුළු වෛද්‍ය කණ්ඩායමක්  ද එක්ව සිටියහ.