සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කිරීමට සුව ඇමැති සැරසෙයි. 2017-12-12

ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික සැසිවාරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පසුගියදා පැවැත්විනි. මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “බෝනොවන රෝග ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝගයක්. එය සමස්ත සාර්ක් කළාපයටම පොදු කරුණක්. මෙම වසරේ දී පැවැති සාර්ක් සෞඛ්‍ය අමාත්‍ය සමුලුවේ දී ද බෝනොවන රෝග පිළිබදව අවධානය යොමු කෙරුනා. විශේෂයෙන්ම වසරක් තුල පිළිකා රෝගීන් 20,000 ක් පමණ අලුතින් වාර්තා වෙනවා. මෙහිදී පුරුෂ පක්ෂය මුඛ, පෙණහළු, ගලනාල පිළිකා වලට මුහුණ දී ඇති අයුරු දක්නට ලැබෙනවා. කාන්තාවන් පියයුරු, ගැබ්ගෙල සහ ඩිම්බකෝෂ පිළිකා වලට ගොදුරුව සිටිනවා. පුරුෂ පක්ෂය අතර මුඛ හා පෙණහළු පිළිකා වර්ධනයට බලපා ඇත්තේ දුම්පානයයි. එම නිසා දුම්පානය අවම කිරීමට වත්මන් රජය ශක්තිමත් වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. සිගරට් පැකට්ටුවල සියයට 80 ක රූපමය අවවාද ඇතුලත් කිරීම, දුම්කොළ බදු සියයට 90 දක්වා වැඩි කිරිම ඇතුලු තවත් ක්‍රියාමාර්ග රැසක් ඊට ඇතුලත්. මෙවර අයවැයෙන් ද සෞඛ්‍ය සේවාව සදහා වැඩි මුදලක් වෙන් කර තිබෙනවා. පිළිකා රෝගීන් සදහා පනවා තිබු රුපියල් ලක්ෂ 15 ප්‍රතිකාර සීමාව ඉවත් කිරීමට මම පියවර ගත්තා. විකිරණ ප්‍රතිකාර ක්‍රම ද විධිමත්ව සිදු කරන අතර පිළිකා රෝග පර්යේෂණ වැඩිදියුණූ කර තිබෙනවා. මහරගම අපේක්ෂා රෝහල, ශික්ෂණ රෝහල් සහ පළාත් මහ රෝහල්වල ප්‍රතිකාර ක්‍රම විධිමත්ව සිදු කරනවා. ශ්‍රී ලංකාවේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු 50 කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර, එය දෙගුණයක් දක්වා වැඩි කිරීම කාලීන අවශ්‍යතාවයක්. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිගයකින් තොරව ලබාදීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි. පිළිකා රෝගීන් පිළිබදව නිවාස මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීම ද අත්‍යාවශ්‍ය කරුණක් පිළීකා රෝග තුරන් කිරීම සදහා ආසියානු රටවල් ඒකාබද්ධව කටයුතු කළ යුතුයි.”
මෙම අවස්ථාවට පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී දමයන්ති පීරිස් මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.